'ඔන්න බබෝ' සමගින් විකසිත වූ අපගේ ළමා ලෝකය
News 1 for Melbourne - Summary & Description
ඇස්. ඒ. දිසානායක අධ්‍යාපනය ලබන්නේ දෙහිගහපිටිය විදුහලෙනි. පාසැල් යන මුල් අවදියේ සිට චිත්‍ර ශිල්පයට සහජ හැකියාවක් මෙන්ම උනන්දුවක් ඔහු තුළ තිබුණි. චිත්‍ර ශිල්පය සහ ඉගෙනුම අතින් ඔහු පාසැලේ කැපී පෙනෙන ශිෂ්‍යයෙකු බවට නමක් දිනා සිටියද නිවසේ පැවති දරිද්‍රතාවය හේතුවෙන් ජේශ්ඨ විභාගයෙන් අනතුරුව උසස් අධ්‍යාපනය පිලිබඳව බලාපොරොත්තු අත් හැරියේය. ඔහුගේ එකම වෑයම වූයේ කෙසේහෝ රැකියාවක් වෙත යොමුවීමය. මුල්ම රැකියාව හැටියට ඔහු කෙටි කලක් ලිපිකරුවකු ලෙස සේවය කල නමුත් ඉන් තෘප්තිමත් නොවූයේය. ඔහුගේ යටි සිතෙහි පැවති චිත්‍ර ශිල්පියෙකු වීමේ අරමුණ යලි යලිත් මතුවන්නට විය. මුලින්ම ඊට යොමුවීමක් ලෙස වෙසක් පහන් සඳහා ඔහු මෝස්තර නිර්මාණය කලේය. එම මෝස්තර ඝන කාඩ්බෝඩ් කඩදාසියකට පිටපත් කර කපා ඉන් මුද්‍රණය කරගත් කඩදාසි අලවා තැනූ වෙසක් පහන් විකිණීම පිනිස එල්ලා තැබුවේය. නමුත් ඔහු බලාපොරොත්තු වූ අයුරෙන් ඒවා අලෙවි නොවීය.
මේ කාලය වනවිට ජී. ඇස්. ප්‍රනාන්දු, සුසිල් ප්‍රේමරත්න ඇතුළු චිත්‍ර ශිල්පීන් කිහිපදෙනකුගේ චිත්‍රකතා වලට මහත් ඉල්ලුමක් ඇතිවෙමින් පැවතුණි. එස්. ඒ. ගේ සිත තුලද චිත්රකතාවක් ඇඳීමේ සිතුවිල්ලක් පහලවිය. ඔහු මහත් උත්සාහයෙන් චිත්රකතාවක් ඇන්දේය. අනතුරුව එයද රැගෙන ලේක් හවුස් ආයතනය වෙත ගොස් ශ්‍රී ලාල් ලියනගේ මහතා මුණගැසුණි. එස්. ඒ. විසින් රැගෙන ගිය කතාව වෙනුවට ළමුන් වෙනුවෙන් කතාවක් කරන මෙන් ශ්‍රී ලාල් මහතා යෝජනා කලේය. මේ අනුව එස්. ඒ. විසින් මුල්ම ළමා චිත්‍රකතාව සිතුවමට නැගීය.
බූ, බබා, තුල්සි, චාම්, බටකොල ආච්චි, යෝධයා, පඬිතුමා යන චරිත 'මිහිර' පුවත්පත වෙතින් අප හමුවට පැමිණෙන්නේ මේ අයුරෙනි.
මායාකාරියක වැනි පෙනුමක් ඇති බටකොල ආච්චි අමරණීය වීමේ අභිප්‍රායෙන් තුල්සී නැමති දැරිය බිලි දීමට මාන බලයි. නොයෙකුත් උප්පරවැට්ටි ඒ වෙනුවෙන් යෙදෙමින් ඉදලක නැගී අහසේ සිට ඇය පැමිණෙනු දකින එවකට කුඩා අපට බියක් හටගනී. නමුත් ඒ සෑම අවස්ථාවකදීම බූ සහ බබා විසින් තම මිතුරිය ඇයගෙන් බේරාගනියි. මේ බව පෙර අත්දැකීම් තුළින් දන්නා නිසා බටකොල ආච්චි පිලිබඳව හටගන්නා බිය අප කෙරෙන් පහව යයි. මෙසේ විවිධාකාරයෙන් වන රසවත් සිදුවීම් වලින් පසු පරාජය වී නැවත පැමිණෙන අදිටනින් ඇය තම ඉදලේ නැගී අහසේ ඈතට යන්නේය. එකල මිදුල අතුගෑමට ඇති ඉදල දෙපැත්තට කකුල් දෙක දමා බටකොල ආච්චි ලෙසින් අහසේ පියඹා යන්නෙමියි සිතා ඉදිරියට පැන පැන මා ගිය ආකාරය දැනුදු සිහිපත්වේ. මෙයයි එස්. ඒ. දිසානායකයන් ළමා අප මනසේ මැවූ චමත්කාරය. යහපත් සිතුවිලි ජයගන්නා බව ඔහු අපට පසක් කලේය.
යෝධයා සහ පඬිතුමා අතර ඇතිවන ඝට්ටනයද අපූරු එකකි. එයින් සියුම් හාස්‍යයක් ඔහු මතුකරයි. මේ අනුව 'ඔන්න බබො', සහ 'යෝධයා' බාල, වැඩිමහලු කා අතරේත් පැසසුමට සහ ජනප්‍රියත්වයට පත්වූ බව පැවසිය යුතුමය.
එස්. ඒ. විසින් අඳින ලද 'සාගත මහල්ලා', 'පුංචිත්තා', 'ඔව්' ඇතුළු ළමා චිත්‍රකතා ගනනාවක් පාඨකයන්ගේ ඉමහත් ප්‍රසාදයට ලක්වුනි.
ඔහු කාලයක් ගුරුවරයෙක් හැටියටද සේවය කලේය.
එතුමා කාලාන්තරයක් තිස්සේ කල මෙහෙවර අප්‍රමාණ වූ එකකි. අප සැම ඊට ණයගැති වෙමු.
ඔහු අවස්ථා ගනනාවකදී රාජ්‍ය සම්මානයට පාත්‍ර විය. 'කලා භූෂණ' සම්මානයෙන්ද පිදුම් ලැබුවේය. ජාතික චිත්‍රකතා පදනම මගින් ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් 10 දෙනෙකුව අගයමින් උත්සවයක් පවත්වා කල අගයකිරීමකදී ඔහුටද එම සුවිශේෂී සම්මානයක් ප්රදානය කලේය.
ඔහුගේ පුතෙකු දැනට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර රැකියාවක නියුතුව සිටින බව දැනගන්නට ලැබුණි. මේ අනුව ඔහු තම යුතුකම් හොඳින් ඉටුකල පියෙකි.
--------------
ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්. ඒ. දිසානායක මැතිතුමණි., ඔබට නිවන් සුව හිමිවේවා