සිඩ්නි නගරයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ සේවා කටයුතු නවීකරණය කෙරේ

සිඩ්නි නගරයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ සේවා කටයුතු නවීකරණය කෙරේ

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ සේවා කටයුතු පාරිභෝගිකයාට වඩා කාර්යක්ෂම හා පහසු සේවාවක් ලබා දීමට හැකි අයුරින් වැඩි දියුණු කිරීමට පියවර ගෙන තිබේ. පසු ගිය කාලය පුරා සිඩ්නි හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජීවත් වන සංක්‍රමණික ශ්‍රී ලාංකික ප්‍රජාවගේ හා මෙම කාර්යාලයෙන් සේවා ලබා ගැනීමට පැමිණි විදේශිකයන්ගේ යෝජනා හා චෝදනා අනුව මෙම නවීකරණ කටයුතු සිදු කර ඇත.

ඒ අනුව පෙ.ව.9.30-ප.ව.1.30 ලෙස මෙතෙක් පැවති දෛනික පාරිභෝගික සේවා සපයන කාලය පෙ.ව.8.30-ප.ව.2.30 ලෙස පැය දෙකකින් දීර්ඝ කිරීම, කොන්සල් කාර්යාලයේ ගෙවීම් ඉලෙක්ට්‍රොනික මූල්‍ය කාඩ් පත් මගින් ගෙවීමේ පහසුකම් ආරම්භ කිරීම, කොන්සල් ජනරාල් කාර්යාලය සපයන සියලු ම සේවා වෙනුවෙන් අවශ්‍ය අයැදුම් පත් හා වෙනත් ලේඛන පාරිභෝගිකයන්ට ලබා දීම සහ කාර්යාල පරිශ්‍රය නවීකරණය කිරීම සිදු කර තිබේ.

සිඩ්නි හි ශ්‍රී ලංකා  කොන්සල් ජනරාල් කාර්යාලය වසර 15කින් පමණ නවීකරණය කර නොමැත. එහෙත් නව කොන්සියුලර් ජනරාල් ලක්ෂ්මන් හුලුගල්ල කාර්යාලයේ පාරිභෝගිකයන් පිළි ගැනීමේ හා ඔවුන් රැදී සිටින ස්ථානය, සම්මන්ත්‍රණ ශාලාව, ප්‍රධාන කාර්යාලය හා  කොන්සියුලර් ජනරාල් නිල කාමරය වඩා හොඳ සේවාවක් සැපයීමට හැකි ලෙස නවීකරණය කිරීමට පියවර ගෙන ඇත.  විශේෂත්වය වන්නේ ඔස්ට්‍රේලියානු ඩොලර් 45,000 ට වැඩි මුදලක් වැය වූ මේ නවීකරණ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට කිසිදු මුදලක් වැය නො වීම ය. ඊට හේතුව නව කොන්සියුලර් ජනරාල්වරයා කාර්යාලය පවත්වා ගෙන යන ගොඩනැගිල්ල හිමි සමාගම සමග සාකච්ඡා කර ඔවුන්ගේ වියදමින් නවීකරණ කටයුතු සිදු කර ගැනීමට සමත් වීම ය.

එමෙන්ම කාර්යාලය පවත්වා ගෙන යාමේ වාර්ෂික කුලිය අඩු කර ගැනීමට ද මේ සාකච්ඡා වල දී සමත් ව තිබේ. සිඩ්නි කොන්සල් ජනරාල් කාර්යාලය ආරම්භ කිරීමෙන් පසු මෙසේ ගොඩනැගිලි කුලිය අඩු කර ගැනීමට හැකි වූ පළමු අවස්ථාව මෙය වේ. මේ නිසා ඉදිරි වසර පහ තුළ දී ශ්‍රී ලංකා රජයට අති විශාල මුදලක් ඉතුරු වනු ඇත.